අපි අපේ‍්‍රල් මාසයේ දී (ඉන්ධන අර්බුදය දැඩි ලෙස බලපෑමට පෙර) රටේ ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්ක පහේ ගොවීන් සමඟ කතා කරමින් සතියක් ක්ෂේත්‍රයේ ගත කළෙමු. මේවා දිගු කලක් තිස්සේ නොසලකා හරින ලද, දිවයින පුරා පැතිරී ඇති සාමාන්‍ය මිනිසුන්ගේ කතා වේ.

පොළොන්නරුව සහ මැදිරිගිරිය අතර දිගු පාරවල්වල වී වේලීමට දමා ඇති ආකාරය. මෙම ප්‍රදේශවල අස්වැන්න අඩකින් පමණ අඩුවී ඇත.

පොළොන්නරුව සහ මැදිරිගිරිය අතර දිගු පාරවල්වල වී වේලීමට දමා ඇති ආකාරය. මෙම ප්‍රදේශවල අස්වැන්න අඩකින් පමණ අඩුවී ඇත.

July 18, 2022

Read this article in English | සිංහල | தமிழ்

කතාව: අමලිනි ද සේරා සහ නඩීම් මජීඩ් ඡායාරූප: අමලිනි ද සේරා සංස්කරණය: අයිෂා නසීම් සහ ටිනීකා ද සිල්වා පරිවර්තනය: නිශාදි ගුණතිලක

චාරිකාව

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එක රැයෙන් රසායනික පොහොර තහනම් කිරීමෙන් බලපෑමට පත් වූ ගොවීන්ට සවන් දීම සඳහා Watchdog කණ්ඩායම 2022 අපේ‍්‍රල් මුල් සතියේ දී ශ්‍රී ලංකාව පුරා ස්ථාන පහක සංචාරය කරන ලදි.

මෙම ප්‍රතිපත්තිය සැබවින්ම කෙතරම් අදූරදර්ශී සහ බලපෑම් සහගත ද යන්න මෙම ගොවීන්ගේ අත්දැකීම් හරහා මනාව පසක් වේ. වසරකට පමණ පසු රජය මෙම ප්‍රතිපත්තිය ආපසු හැරවීම, බොහෝ ගොවීන්ගේ ජීවනෝපාය අහිමි වීම සහ පසුගිය වසර පුරාවට ඔවුන් මත ඇති වූ පීඩනය නම් ආපසු නොහරවයි. මීට අමතරව, ඔවුන්ට පොරොන්දු වූ වන්දි ද මෙතෙක් ලැබී නොමැත.

ගොවීන් සමඟ අපගේ සංවාදයට පහසුකම් සැලසූ සියලුදෙනාට සහ විශේෂයෙන්ම මෙම ලිපි මාලාව යථාර්ථයක් කිරීමට තම කාලය, අදහස් සහ දැනුම ලබා දුන් ගොවීන්ට අපි ස්තූතිවන්ත වෙමු.


අපි ගිය තැන් මොනවාද?

මෙම කතාවේ මුල් කොටසේ දී අපි රාජපක්ෂ බලකණුවක් වූ හම්බන්තොට ගොවි ජනතාවගේ යථාර්ථය ගවේෂණය කළෙමු. එය රටේ ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශ හරහා ගිය චාරිකාවක ආරම්භක ස්ථානය විය. අපගේ ගමන් මාර්ගය පිළිබඳව ඉක්මනින් කෙටි විස්තරයක් කරමු:

සමන්තුරේ: නැගෙනහිර සහල් බඳුන නමින් හැඳින්වෙන මෙම ප්‍රදේශයේ අස්වැන්න නෙලන කාලය පසු වුණා පමණි. අම්පාර සහ මෙම කුඩා නගරය අතර A31 මාර්ගයේ ඇසට පෙනෙන මානය පුරාවට හිස් කුඹුරු පැතිරී ඇත. මෙරට පළමු වාරිමාර්ග යෝජනා ක්‍රමය වන ගල් ඔයේ අතු ගංගා කුඹුරුවලට ජලය සැපයීම සඳහා පාරට යටින් දිව යමින් තිබුණ ද ඒවා වියළිව පවතී - හේතුව කුමක්දැයි අපි පසුව බලමු. කන්න අතර කාලවල දී අලි ඇත්හු හිස් කුඹුරුවල සැරිසරමින් 'ඉතිරිව ඇති දේ' අනුභව කරති. පට්ටම්පිට්ටි අමුණ නැරඹීම සඳහා අපි මෙම ප්‍රධාන මාර්ගයෙන් බොහෝ දුරක් ඈතට කුඹුරු මැදින් වූ, බොහෝවිට ට්‍රැක්ටර් සහ මෝටර් සයිකල්වලට වැඩිපුර හුරු වී ඇති ගුරු පාරක් දිගේ ගියෙමු. එහි ගොවීහු ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ දිවා ආහාර රැස්වීමකට සූදානම් වෙමින් සිටියහ.

වලපනේ: ඇඳිරි නීතිය පැනවූ විගසම පාහේ අපි හාරගම පාරේ සිට තැන්නහේන්වල කුඹුරු දක්වා දැඩි කඳු නැග්මක් පයින් යමු. මෙම උස් කලාපයේ ලියැදි (terrace) තුළ වගා කරන ලද වී සහ කුඩා එළවළු කොරටු වටකොට කඳු පිහිටා ඇත. මෙම කෙත්, කඳුවල බෑවුම් දිගට සමතුලිත වන අතර යාන්ත්‍රික ගොවිතැන් යන්ත්‍රවලට ඒවාට ප්‍රවේශ විය නොහැක. අතින් වැපිරීම සහ අස්වනු නෙලීමේ සාම්ප්‍රදායික ක්‍රම තවමත් ක්‍රියාත්මක වේ. දේශගුණික විපර්යාස සෙමින් සෙමින් හිස ඔසවන අකාරය පෙන්නුම් කරමින් පසුගිය වසර දහය තුළ මෙම ප්‍රදේශය වඩාත් උණුසුම් වූ බව අපට පවසනු ලැබිණි.

පොළොන්නරුව: උතුරු-මැද පළාතේ භූ දර්ශනය කුඹුරු, එළවළු වගාබිම් සහ ඒවා පවත්වා ගෙන යාමට නිර්මාණය කළ වාරි වැව්වලින් සමන්විත වේ. මැදිරිගිරියේ සහ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ දිගු මාර්ග දිගේ අලුතින් නෙලන ලද වී වේලෙන්නේ දශක ගණනාවක් කෘෂිකර්මාන්තයේ යෙදී සිටි ගොවීන් සිය මතකයන් සිහිපත් කරද්දී ය. මහවැලි වාරි යෝජනා ක්‍රමයේ ඇළවල් මගින් පෝෂණය වූ මෙම කලාපයෙන් ඉහළ නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එය රසායනික පොහොර තහනමට ප්‍රධාන හේතුවක් ලෙස ජනාධිපති රාජපක්ෂ සඳහන් කරන ලදි.

යාපනය: අපි මහාමාර්ග හරහා අර්ධද්වීපයට ඇතුළු වීමත් සමඟම අවට වර්ණ සාගරයෙහි ළා නිලෙහි සිට පොළවේ ගුරු පැහැය දක්වා වෙනස් වේ. පලතුරු ගස්, වී සහ දුම්කොළ මෙහි සාරවත් පසෙහි සැතපුම් ගණනක් පුරා පැතිරී යයි. මරුතනර්මඩම්, ඉනුවිල් සහ කන්දරෝඩෙයි (කදුරුගොඩ) හිදී අපට යාපනය වඩාත් ප්‍රසිද්ධ සහ අප ආදරය කරන ආහාර වර්ග කිහිපයක් වගා කරන ගොවීන් හමුවෙයි. තනි කුඩා මාර්ගයක් දිගේ රිය පදවන කෙනෙකුට එක් පැත්තකින් මෙම වගාබිම් ද, අනෙක් පසින් හමුදා මුරකුළුණු සහිත වැටක් ද පෙනෙනු ඇත.

ඔබ ගොවීන්ගේ ප්‍රශ්න පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අප මෙම ලිපියට අදාළ පර්යේෂණ සිදු කර මාසයකට පමණ පසුව රජය රසායනික පොහොර තහනම ඉවත් කරන ලදි. ඒ එය විනාශකාරී ලෙස සහ වැරදි තොරතුරු මත පදනම්ව බලාත්මක කිරීමෙන් වසරකට පසුවයි. සිදුවූ හානිය සඳහා වන්දි ගෙවීම තවමත් සිදුව නැත. පොහොර මිල දැන් තුන් ගුණයකින් වැඩි වී ඇති බැවින් බොහෝ ගොවීන් හට තවමත් පොහොර ලබා ගත නොහැක. ඉන්ධන හිඟයත් මෙයට එකතු කළ පසුව පෙනෙන්නේ ඔවුන් එක් අර්බුදයකින් තවත් අර්බුදයකට ගමන් කරන බවයි.

අප මෑතකදී Watchdog හි උද්ධමන දත්ත නිකුත් කරන ලදි. පසුගිය මාස කිහිපය තුළ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති ආකාරය එයින් පෙන්වයි. මෙම දත්ත සහ ගොවීන් අතර ඇති සම්බන්ධය කුමක්ද?