ඩොලර් සහ ණය; අපි කාටද ණය වෙලා ඉන්නේ? ඇයි ණය ගත්තේ? කවදද ගත්තේ? මේ ණය මුදල් අපි මොනවටද භාවිතා කරේ? - රටේ ණය බර පිළිබඳව ඔබට තියන සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු, පහලින්.

March 4, 2022

Read this article in English | සිංහල | தமிழ்

debt.png

විශ්ලේෂණය - උමේෂ් මොරමුදලි දත්ත දෘෂ්‍යකරණය - යුධංජය විජේරත්න සංස්කරණය - අයිෂා නසීම් පරිවර්තනය - මොහමඩ් ෆෛරූස් සහ නඩීම් මජීඩ්

1948 ශ්‍රී ලංකාව නිදහස ලද දින සිට, පළමු වරට, විදේශ ණය ගෙවීමට නොහැකිවීමේ අවදානමක් මතු වී ඇත. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන හා ගෝලීය ආයෝජන සමාගම් දැනටමත් ප්‍රකාශ කර සිටින්නේ ඉදිරි මාස කිහිපය තුල ශ්‍රී ලංකාවට ණය වාරික ගෙවීමට නොහැකි වන බවයි.

මේ තත්වයත් සමඟම අපි ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත - ගෙවිය යුතු ණය මුදල් ප්‍රමාණයේ සමස්ථය කීයද? ගෙවිය යුත්තේ කාටද? නැවත ගෙවීම් කිරීමට නොහැකිවන තරමට ණය ගත්තේ කෙසේද?

පළමුව, ඇයි මෙච්චර ණය ගත්තේ?

දිගින් දිගටම ශ්‍රී ලංකා රජයට මේ ආකාරයට ණය ගැනීමට සිදුවී ඇත්තෙ, අවශ්‍ය ආදායම අනෙකුත් මාර්ග හරහා එකතුකරගැනීමට නොහැකිවීම නිසාය. රජයන් සාමාන්‍යයෙන් ණය ගන්නේ වියදම් සපුරාලීමට සරිලන පරිදි ආදායම් එකතුකරගැනීමට නොහැකි වන විටයි. ආරක්ෂාව සැපයීම, නීතිය හා සාමය පවත්වාගෙනයාම, හා සමාජ සුබසාධනය තහවුරු කිරීම, රජයක ප්‍රමුඛ වගකීම් අතර වේ.

ගුරුවරුන්, වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් සහ හමුදා භටයින් වැනි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ, මාර්ග, වාරිමාර්ග පද්ධති, සහ වෙනත් යටිතල පහසුකම් ඉදිකිරිම සඳහා කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් සිදුකිරීම සඳහා, රජය විසින් විශාල මුදලක් වැය කළ යුතු වේ. මේ පිරිවැය දරා ගැනීම සඳහා රජය අඛණ්ඩව ආදායම් මාර්ගද පවත්වාගෙනයායුතුයි. රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදු ආදායමයි. භාණ්ඩ හා සේවා, පුද්ගලයින් හෝ සමාගම් මත බදු පැනවීමේ හැකියාව රජයට තිබේ. නමුත් මෙම බදු හරහා වියදම් පියවීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබුණහොත්, හිඟය පියවන්න ණය ගැනීමට සිදුවනු ඇත.

රජයන් ණය ගන්නා විට දේශීය මූලාශ්‍රවලින් හෝ විදේශීය මූලාශ්‍රවලින් ණය ගත හැකිය. දේශීය ණය ගැනීම බොහෝ විට සිදුවන්නේ භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර හරහායි; මෙය රජයේ සුරැකුම්පත් ලෙස හැඳින්වේ. මෙම ලිපියේදී අපගේ අවධානය යොමුකරන්නේ විදේශ මුලාශ්‍රයන්ගෙන් රජය ලබාගත් ණය පිළිබඳවයි.

ශ්‍රී ලංකාවේ විදේශ ණය තත්වය, සැකෙවින්

පසුගිය දශක පහ පුරාවටම ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විදේශ ණය විශාල වශයෙන් උපයෝගී කර ඇත. වෙනත් රටවල් හා ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධාන වලින් ලබාගත් ණය මුදල්වලින්, 70 හා 80 දශකයන්හිදී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු විශාල ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කෙරුණේය.

දශක කිහිපයක් පුරාම, සංවර්ධනය සඳහා සහනදායක විදේශ ණය මත යැපීමට ශ්‍රී ලංකාවට සිදුවුණේය. මේ හේතුවෙන් බොහෝ ආර්ථික විද්‍යාඥයින් ශ්‍රී ලංකාව විදෙස් දායකයින්ගේ සුරතලෙක් (donor darling) ලෙස හඳුන්වනු ලැබුණේය.

පහත රේඛා සටහනේ, 1951 සිට 2020 වර්ෂය දක්වා, රටේ ජාතික ණය බර (දේශීය හා විදේශීය), දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පෙන්වාදී ඇත.

Sri_Lankan_National_debt_as_a_%of_GDP(1951-2020)__Domestic_Foreign_Total_chartbuilder.png

1977 වර්ෂයෙන් පසුව ආර්ථිකය විවෘත කිරීමත් සමඟම, ණය ගැනීම තවදුරටත් ඉහළයාම හේතුවෙන්, ජාතික ණය බර සිඝ්‍රයෙන් වර්ධනය වුණේය. 1980 වර්ෂයේ, යටිතල පහසුකම් හා පරිභෝජනය සඳහා අඛණ්ඩව ණය ගැනීම හේතුවෙන් මෙම අගය තවත් ඉහල ගියේය. 1989 වර්ෂය වෙද්දී, රටේ ජාතික ණය බර, දල දේශීය නිෂ්පාදනයෙන් 109%ක් දක්වා වැඩිවුණේය. 1989 වර්ෂයේදී දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස විදේශ ණය, 62%ක් දක්වා වැඩිවුණේය.

විදේශ ණය ප්‍රතිශතය සිඝ්‍රයෙන් වැඩිවෙද්දී, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) උපකාරය සමඟ, රටට විවිධ අර්බුද වලට යම්තාක් දුරකට මුහුණ දීමට හැකිවුණේය. ඒ හැකියාව තිබුනේ, මේවනවිට රට ලබාගත් විදේශ ණයෙන් බහුතරයක්, සහනදායි කොන්දේසි මත ලබාගත් බැවිනුයි. මේ සහනදායි ණය සඳහා සාමාන්‍යයෙන් අඩු පොලියක් තිබුණු අතර, නැවත ගෙවීම සඳහා අවුරුදු 20ත් - 40ත් අතර කාලයක් ලබාදී තිබුණේය. මේ හේතුවෙන් රජයට වාර්ෂිකව ණය වාරික ගෙවීම් සඳහා විශාල මුදලක් වැය කිරීමට අවශ්‍යවුනේ නැත.

නමුත්, 1997 වර්ෂයේ, ශ්‍රී ලංකාව [මැදි ආදායම් රටක්](https://www.worldbank.org/en/country/srilanka/overview#:~:text=Sri Lanka is a lower,%2C inclusive%2C and resilient country.) බවට පත්වීමත් සමඟම, මේ තත්වය වෙනස් වුණේය. මැදි ආදායම් රටක් බවට පත්වීමත් සමඟම, ජාත්‍යන්තර සංවර්ධන ආයතනයන්, ශ්‍රී ලංකාව සඳහා ලබාදුන් සහන ණය මුදල් ප්‍රමාණය අඩුකිරීමට පියවර ගත්තේය. ශ්‍රී ලංකාව, එක පුද්ගල ආදායම ගත්කල මැදි ආදායම් රටක් බවට පත්වුවද, එවන විටත්, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට විශාල අවශ්‍යතාවයක් තිබුණේය. එමෙන්ම, රටේ ආර්ථික ව්‍යුහය සම්බන්දයෙන්ද විශාල ගැටළු තිබුණේය. රජයන් දිගින් දිගටම විශාල අයවැය හිඟයන් පවත්වාගෙන ගිය අතර, යටිතල පහසුකම් සඳහා තනිව ආයෝජනය කිරීමේ හැකියාව රජයට තිබුනේ නැත.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශ ණය ගැනීම සඳහා විකල්පයන් සොයමින් ගියා. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලෙන් ණය ගැනීම එක විකල්පයක් වූ අතර, තවත් විකල්පයක් වුයේ අපනයන-ආනයන බැංකු (EXIM banks), විශේෂයෙන් චීනයේ එක්සිම් බැංකුවෙන් ණය ලබාගැනීමයි. මේවා වාණිජ ණය වූ බැවින්, ණය ගැනීමේ පිරිවැයද වැඩිවුණි. පසුගිය දශක දෙක තුල ශ්‍රී ලංකාව විදේශ ණය ලබාගන්නා ක්‍රමවේදය සම්පුර්ණයෙන්ම වෙනස් වුණා. 2020 වර්ෂයේ අවසානය වෙද්දී, රට ලබාගත් විදේශ ණය ප්‍රමාණයෙන් 51%ක් ලබාගෙන තිබුනේ සහනදායි නොවන, වාණිජ ණය හරහායි.

සරලව කිවහොත්, වැඩි පොලි අනුපාතයක් හා සාපේක්ෂව කෙටි ආපසු ගෙවීමේ කාලයක් තිබෙන ණය, සහනදායි නොවන ණය ලෙස හැඳින්වේ. ආපසු ගෙවීමේ කාලය සාමන්‍යයෙන් ණය ප්‍රමාණය අනුව තීරණය වනු ඇත. අඩු පොලියක් හා දිගු ආපසු ගෙවීමේ කාලයක් තිබෙන සහනදායි ණය සමඟ සංසන්දනය කිරීමේදී, සහනදායි නොවන ණය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බව පෙනී යයි. සහනදායි හා සහනදායි නොවන ණය සඳහා තාක්ෂණික නිර්වචනය මෙය නොවේ. එය තීරණය වන්නේ ණය කොන්දේසිවල තීව්‍රතාවය මනින, ප්‍රදාන අංගය (grant element) මතයි. සවිස්තරාත්මක තාක්ෂණික කරුණු මෙතනින් ලබාගත හැක.

පහත රේඛා සටහනේ සහ වගුවේ, සමස්ථ ණය ප්‍රමාණයෙන්, වාණිජ ණය සහ සහනදායි ණය ප්‍රතිශතයන්, 2004 සිට 2020 දක්වා වාර්ෂිකව පෙන්වාදී ඇත.

Foreign_Debt_Composition_in_Sri_Lanka_(2004-2020)Commercial_loans%Concessionary_Loans%_chartbuilder.svg

Foreign Debt Composition, 2004-2020