ආර්ථික කඩාවැටීම සිදුවුනේ කොහොමද? අතීසාරෙට අමුඩේ ගහන විසඳුම් යොදවන තරමට ආර්ථික පාලනය කඩාවැටීමට හේතු කුමක්ද? මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු අපේ නේවාසික ආර්ථික විද්‍යාඥයා වෙතින්.
February 1, 2022
Read this article in English | தமிழ்
විශ්ලේෂණය - උමේෂ් මොරමුදලි දත්ත දෘෂ්‍යකරණය - යුධංජය විජේරත්න සංස්කරණය - අයිෂා නසීම් පරිවර්තනය - මොහමඩ් ෆෛරූස් හා නඩීම් මජීඩ්
තවත් විදුලි කප්පාදුවීමක් සමඟ අපේක්ෂා භංගත්වය සිඝ්‍රයෙන් වර්ධනය වී ඇත. සමාජ මාධ්‍යයේ #PowerCutLK ට්‍රේන්ඩින්ග් ලැයිස්තුවට ඇතුලත් වී ඇත. WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය හරහා ජනතාව රජයට සාප කරමින් සිටිති.
අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල සිඝ්‍රයෙන් වැඩිවන අතර ඇතැම් භාණ්ඩ සොයාගැනීමටවත් අපහසු තත්වයක් උද්ගතව ඇත. ආහාර, ගැස් හා ඉන්ධන හිඟයන් ඇතිවීමත් සමඟම ජනතාවට ආර්ථිකය පිළිබඳව තියන විශ්වාසය ක්‍රමක්‍රමයෙන් සිඳී යමින් පවතියි. මෙවන් දෛනික අරගල හා ආර්ථික ගැටළු විවිධ ගැටළුසහගත ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක වේ. මෙහි මුල අවබෝධ කරගැනීමට ශ්‍රී ලංකා ආර්ථිකයට පහුගිය දශක දෙක තුල සිදුව ඇති දේ පිළිබඳව ගැඹුරු ගවේෂණයක් සිදුකල යුතුයි.
“අපි මේ තත්වයට පත්වුණේ කෙසේද?” යන ප්‍රශ්නයේ පසුබිම් කතාව පහත දැක්වේ.
2009දී දශක තුනක් ගෙවී ගිය යුද්ධය අවසන් වීමත් සමඟම, රටේ ආර්ථිකය සිඝ්‍රයෙන් වර්ධනය වීමට පටන් ගැනුනි. එනම් රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සිඝ්‍රයෙන් ඉහල ගිය අතර, 2010 වර්ෂයේ ආර්ථික වර්ධන වේගයේ 8%ක් ලෙස සටහන් වුණා. මෙම ප්‍රවණතාවය 2011 හා 2012 වර්ෂයන්හිදී අඛණ්ඩව පැවැත්වුණු අතර, එම වර්ෂයන්හි ආර්ථික වර්ධන වේගය 8.4%ක් හා 9.1%ක් ලෙස සටහන් වුණා.
නමුත්, මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතුවුයේ ඉදිකිරීම් හා සිල්ලර වෙළඳාම වැනි අභ්‍යන්තර ක්ෂේත්‍ර ව්‍යාප්ත වීමයි. අධිවේගී මාර්ග, ගුවන් තොටුපොල, වරායන්, හා කොළඹ නගරයේ හා අවට ප්‍රදේශ වල පැනනැගුනු උස් ගොඩනැගිලි වැනි, රජය හා පෞද්ගලික අංශය විසින් ක්‍රියාත්මක කෙරුණු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉක්මන් වර්ධනයක් දක්නට ලැබුනා. මෙහි සන්දර්භය අවබෝධ කරගැනීමට සලකා බැලිය යුතු එක් කාරණාවක් වන්නේ, මෙම ව්‍යාපෘති සඳහා වැයවුණු මුදල් ප්‍රමාණයයි. දකුණු අධිවේගී මාර්ගයේ පළමු කොටස සඳහා ඩොලර් මිලියන 740ක් වැයවූ අතර, එය 2011 වර්ෂයේ විවෘත කෙරුණා. රටේ දෙවෙනි අධිවේගී මාර්ගය, එනම් කොළඹ - කටුනායක මාර්ගය, විවෘත කෙරුනේ 2013 වර්ෂයේදීය. එම මාර්ගය සඳහා ඩොලර් මිලියන 292ක් වැයවූ අතර, ණය පහසුකම් ලබාදුන්නේ චීනයේ එක්සිම් (EXIM) බැංකුව විසිනුයි. මෙම ව්‍යාපෘති ඉන් පසුව බලයට පත්වූ ආණ්ඩු යටතේ ද අඛණ්ඩව ඉදිරියට ගෙන ගියා. දකුණු අධිවේගී මාර්ගය තවදුරටත් දීර්ඝ කරන අතර, පිටත වටරවුම් අධිවේගී මාර්ගය ද (Outer Circular Highway) ඉදිකරනු ලැබුවා. 2015 වර්ෂයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණා.
ආර්ථික විද්‍යාඥයන් මෙම ක්ෂේත්‍ර හඳුන්වන්නේ ගනු-දෙනු කල නොහැකි (non-tradable) ක්ෂේත්‍ර ලෙසයි. ඊට හේතුව වන්නේ එම ක්ෂේත්‍රයන්ට අදාල භාණ්ඩ හා සේවා ජාත්‍යන්තරව හුවමාරු කරගැනීමේ හැකියාවක් නොමැති නිසාය. එහෙයින්, මෙම ව්‍යාපෘති හරහා අත්කරගත හැකි ආර්ථික වර්ධනය, රටේ ජනගහනය හා ක්‍රය ශක්තිය (සාමාන්‍ය පුද්ගලයෙකුට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව) පමණක්මා සීමා වේ. මෙවන් ගනු-දෙනු කල නොහැකි ක්ෂේත්‍ර හරහා අත්පත්කරගත හැක්කේ කෙටි කාලීන ආර්ථික වර්ධනයක් පමණයි. ශ්‍රී ලංකාව වගේ මිලියන 22ක් වැනි සාමාන්‍යයෙන් කුඩා ජනගහනයක් තිබෙන රටවල්වල මෙය බොහෝවිට දිස්වෙනු ඇත.
2013 වර්ෂය වන විට, ආර්ථික වර්ධන වේගය 3.4% දක්වා පහත වැටුණි. මෙම පහල වැටීම දිගින් දිගටම පැවතුනු අතර, 2019 වන විට ආර්ථික වර්ධන වේගය 2.3% දක්වා පහත වැටුණි. මෙය 2001 වර්ෂයේ සිට රටේ වාර්තාවූ අවම ආර්ථික වර්ධන වේගය වූ අතර, මෙයට ප්‍රධාන වශයෙන් බලපෑ කාරණා දෙකක් තිබුණි. එනම්, සීමිත ජනගහනය හේතුවෙන් සිල්ලර වෙළඳාම හා ඉදිකිරීම වැනි ක්ෂේත්‍ර වල ව්‍යාප්තිය ඇනහිටීම හා අපනයන වර්ධනය කිරීමට අසමත්වීම.
අපනයන ක්ෂේත්‍රයේ රටේ කාර්ය සාධනය ගත්කල, 2000 වර්ෂයේ සිට එහි කඩාවැටීමක් පෙනෙයි. අපනයන ආදායම තනි අගයක් ලෙස ගත් විට, එහි වර්ධනයක් පෙනෙයි. මෙම කාරණාව බොහෝ විට සුරංගනා ලෝක මවාපාන සුභවාදී වාචාලයින් විසින් පටු අරමුණු සඳහා වැරදිසහගත ලෙස අර්ථකථනයට ලක්කෙරෙනු ඇත.